Home Opinion බැසිල්ගේ පදයට නැටවෙන සජිත්!!!

බැසිල්ගේ පදයට නැටවෙන සජිත්!!!

0

සාගර කාරියවසම් කියන්නේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයාය. ගම්මන්පිල කියන විදියට ම එහෙම ප්‍රාණියෙක් ඉන්නවා ද කියලා දැනගත්තේ මෑතක දී ය. මෑතක දැනගත්තත්, මේ වන විට ඔහු ආණ්ඩුව මෙහෙයවන ප්‍රධාන පක්ෂයේ ලේකම්වරයා ය. ගම්මන්පිල මැතිවරණයට ඉදිරිපත් කරන නාමයෝජනා පත්‍රයට අත්සන් තබන්නේ ද ඔහුය. එම පක්ෂයේ නායකයා වන්නේ මහින්ද රාජපක්ෂ ය. අද තම තමන් වෙන වෙන පක්ෂවලට අයිති අය කිව්වත්, ඔය හැමෝ ම ඉන්නේ පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ය. මැතිවරණයට ඉදිරිපත් වුණේ ඒ පක්ෂයේ ලාංඡනය යටතේ ය. මෛත්‍රීපාල සිරිසේන ඉන්නෙත් ඔය පක්ෂයෙන් ඡන්දය ඉල්ලලාය. මහින්ද රාජපක්ෂ පක්ෂයේ නායකයා වුණාට, ජී.එල්. පීරිස් සභාපති වුණාට ඇත්තට ම ඔය පක්ෂය මෙහෙයවන්නේ බැසිල් රාජපක්ෂ ය. එය දන්නෝ දනිති. ඒ කියන්නේ, සාගර යවපු ලිපියේ නිර්මාතෘ බැසිල් ය.

එය මේ වන විට තවත් තහවුරු වෙමින් ඇත්තේ, බැසිල්ගේ ගෝලයෝ ටික ගම්මන්පිලට විරුද්ධව තැන් තැන්වල ආඩපාලි කීමෙන් ය. නිමල් ලන්සා ඉස්සෙල්ලා ම කට ඇරියේ ය. “බැසිල් හිටියා නම්. තෙල් මිල වැඩි කරන්න දෙන්නේ නැහැ” යැයි කිව්වේය. ඊළඟට ජගත් පුෂ්පකුමාරත් ඒ කතාවම කිව්වේ ය. අරුන්දික ප්‍රනාන්දු කියන්නෙත් ඒකමය. ටික ටික කට්ටිය බැසිල්ව රකිමින්, අනෙක් පැත්තට පහර ගසන්නේ ය. ජගත් කියන්නේ, තෙල් මිල වැඩි කරපු ජනාධිපති, අගමැති ඇතුළු කමිටුව ම වැරැදි බවය. බැලූ බැල්මට ම මෙය අලුත් පන්නයේ නාට්‍යයක් බව ඕනෑ ම පොඩි ළමයකුට වුවත් තේරෙන්නේ ය. තෙල් මිල වැඩි කිරීමෙන් එන ජනතා විරෝධය යටපත් කරන්නට ආණ්ඩුව ඇතුළෙන්ම ‘තෙල් නාට්‍යයක්’ හැදුවේ ය. මෙහි ප්‍රධාන නළුවා සාගර වුවත්, අධ්‍යක්ෂවරයා බැසිල් රාජපක්ෂ ය. බැසිල් රටේ හිටියත්, ඔය වැඩි කිරීම වෙන්නේ ය. නාට්‍යයත් ඔය විදියට ම පෙන්වන්නේ ය. මේ උත්සාහ කර ඇත්තේ, එක පැත්තකින් ආණ්ඩුවට එන ජනතා විරෝධය මැඬපවත්වා ගන්නට ය. අනෙක් පැත්තෙන් ආපු අවස්ථාවෙන් ගම්මන්පිලලාට ෂොට් එකක් දෙන්නට ය. ඒ දෙක ම දැන් සිදු වී ඇත. කවුරු කොහොම විරුද්ධ වුණත්, ජනතාව අතර වැඩි කතාබහට ලක් වෙලා තියෙන්නේ, සාගර – ගම්මන්පිල ගැටුම ගැනය. ඊට පස්සේ ඒ ගැන එක එක්කෙනා කියන කතා ගැන ය.

සජිත්ලා දැන් කරන්න හදන්නේ ඒක ය. බැසිල්ගේ නාට්‍යයට හසු වීම ය. එනම්, ගම්මන්පිල ඇමතිකමෙන් අයින් කරවන්න විශ්වාසභංගයක් ගෙන ඒම ය. තෙල් මිල වැඩි කළේ ගෝඨාභය, මහින්ද, නාමල් ඇතුළු ආණ්ඩුව ය. ආණ්ඩුවට එරෙහිව එන සැබෑ ජනතා විරෝධය කොහෙවත් ඉන්න පෙත්තප්පු කෙනකුගේ පිටින් යවන්නට ය. ඒ කියන්නේ, සජිත්ගේ මෝඩ මොළය බැසිල්ගේ උපක්‍රමයට හසු වී ඇති බව ය.

කාලයක් තිස්සේ වීරවංශ, ගම්මන්පිල, වාසුදේව, දයාසිරි, රතන හාමුදුරුවෝ ඇතුළු කණ්ඩායම එක්ක බැසිල් විරසකයක සිටියි. ඒ ඔය කිසි කෙනකුව බැසිල් ශතපහකට මායිම් නොකිරීම ය. ඔවුනට දෙන්නේ මොන ඇමතිකම් ද? දීපු ඇමතිකම්වල විෂයයන් මොනවා ද සියල්ල තීරණය කළේ බැසිල් ය. මේ වෙන කොට දීපු අමාත්‍යාංශවල ලේකම්වරුන් සහ අනෙකුත් සභාපතිවරුන් පත් කරලා තියෙන්නේ, බැසිල්ට ඕනෑ අයව ය. තෙල් සංස්ථාවේ සභාපති කර ඉන්නේ බැසිල්ගේ ගෝලයෙකි. වීරවංශගේ අමාත්‍යාංශයේ ලේකම් ලෙස පත් කර ඇත්තේ, කුප්‍රකට සිල් රෙදි වංචාවේ චූදිත අනූෂ පැල්පිට ය. ඒ කියන්නේ, බැසිල්ට හොරෙන් ඔය අමාත්‍යාංශවල අධෝවාතයක්වත් යවා ගන්නට නොහැකි ය. රතන හාමුදුරුවෝ කාබනික පොහොර ගැන මරලතෝනි දුන්න ද, ඒ පිළිබඳව පත් කළ කමිටුවේ අඩු ම ගණනේ සාමාජිකයකු හෝ නොවේ ය. එහි සභාපති වන්නේ ද කොහෙවත් හිටපු බැසිල් ය. මේවාත් එක්ක දිගින්දිගට ම ගැටුමක් පවතී. ඒ ජනතාව ගැන හිතලා වැඩ කරන්න ගිහින් හදා ගත්ත ගැටුමක් නොවේ ය. තමන්ගේ හොරකම් ටික අහු වෙන්නෙ නැතිව කර ගන්න බැරි ප්‍රශ්න නිසා ඇති වෙච්ච ගැටුමක් ය. එහෙමත් නැත් නම්, තනතුරු නොලැබීම නිසා ඇති වුණු ගැටුමක් ය. විජේදාස රාජපක්ෂට බැසිල් එක්ක මාරාන්තික තරහක් ඇත්තේ ද ඔය තනතුරු ප්‍රශ්නය නිසා ය.

ඇමෙරිකානු ද්විත්ව පුරවැසිකම නිසා ඡන්දය ඉල්ලන්න බැරි වුණාට ආණ්ඩුව මෙහෙයවන ප්‍රධාන කාර්යසාධක බළකායන් සියල්ලේ ම සභාපති බැසිල් ය. ආර්ථිකය පිළිබඳ, කොරෝනා පිළිබඳ, කාබනික පොහොර පිළිබඳ ආදී කාර්යසාධක බළකායවල සභාපති බැසිල් ය. ආර්ථික කමිටුවේ සභාපති විදියට ඕනෑ ම අමාත්‍යවරයකු සහ අනෙකුත් සියලුම නිලධාරීන් කැඳවීමේ බලය ඔහුට ඇත. පහුගිය කාලයේ ම ඒ දේ සිද්ධ විණි. කොරෝනා පටන් ගත්ත වෙලාවේ ඉඳලා ම පණ්ඩිතයා වාගේ ඔක්කොම මෙහෙයැවූයේ බැසිල් ය. අද මුළු රටේම ගොවීන් මහා ව්‍යසනයකට ඇදදමමින් තියෙන පොහොර කමිටුවත් මෙහෙයවන්නේ ඔහු ය. ඇත්ත කතාව නම්, ගෝඨාභය රාජපක්ෂට ඔය කියන විෂයයන් ගැන මෙලෝ දැනුමක් නැත. දැන් යාන්තම් එහෙන් මෙහෙන් ටිකක් දැනගත්තා වුවත්, ප්‍රායෝගික දැනීමක් ඇත්තේ ම නැත. පොහොර පිළිබඳ ගත්ත තීරණයෙන් ඒ බව හොඳට ම තේරෙන්නේ ය.

පරණ විදියට ම ලලිත් වීරතුංගව, පී.බී. ජයසුන්දරව දෙපැත්තෙන් තියාගෙන ඉන්නේ ඒ නිසා ය. ඔහුට පුරුදු හමුදාවේ වැඩ කරන රටාව ය. ඒ නිසා ම හැම තැනට ම හමුදාවේ අය පත් කළේ ය. ලංකා ස.තො.ස. සභාපතිවරයා රියර් අද්මිරාල්වරයෙකි. පාරිභෝගික අධිකාරියේ සභාපති හිටපු මේජර් ජෙනරාල්වරයකු වූ දිසානායකය. වරාය සභාපති හමුදාවේ ය. රේගුවේ සභාපති හමුදාවේ ය. විදේශ ලේකම් ඇතුළු ලේකම්වරුන් ගොඩක් ම හමුදාවේ ය. කොවිඩ් කමිටුවේ සභාපති හමුදාපති ය. හැම තැනට ම හමුදා පත් කිරීම් කළ ද, සියල්ල ම අන්තිම අසාර්ථක ය. ආර්ථික කමිටුවේ සභාපති බැසිල් වීමෙන් ම සමස්ත ආර්ථිකය ම කඩාවැටී තිබේ. මේ වෙන කොට තෙල් මිල වැඩි වීම විතරක් නොව හාල්, පොල්තෙල්, එළවළු හැමදේම නැට්ටට ම ඉහළ ගොස් ය. ඒවායේ පාලන මිල පැත්ත පළාතකවවත් නැත. මේ කිසිවක් පාලනය කර ගන්න බැරි තත්ත්වයට ගෝඨාභය ඇතුළු මුළු ආණ්ඩුව ම පත් වී ඇත. බැලූ බැලූ හැම පැත්තේ ම ප්‍රශ්න ය; අර්බුද ය.

කොරෝනා නැත් නම්, මේ වන විටත් ජනතාව පාරට බැහැලා මේ ආණ්ඩුව ගෙදර යවා අවසන් ය. කොරෝනා මරණ බිය නිසා අමාරුවෙන් ඉවසාගෙන ඉන්නේ ය. එහෙම නැතිව ආණ්ඩුව හොඳ නිසා නොව් ය. කරකියා ගන්න දෙයක් නැති නිසා ය. එහෙත්, තැන් තැන්වලින් ජනතාව මේ පීඩනයට එරෙහිව දැන් දැන් නැඟිටින්නට පටන්ගෙන ඇත. කොරෝනා ඉස්සරහට දාලා ආණ්ඩුව ඒ ජනතා

නැඟිටීම් යටපත් කරන්නට උත්සාහ ගන්නේ ය. එහෙත්, එය තාවකාලික ය. මුළු රටේ ම බහුතර ජනතාවට මේ ආණ්ඩුව පලවාහැරීමේ වුවමනාව දැන් තදින් දැනී ඇත. ගෝඨාභය ද, බැසිල් ද, නාමල් ද ඔය කවුරුන් ද කියන එක ජනතාවට අදාළ නැත. ජනතාව ඉන්නේ පුදුම කේන්තියකින් ය.

ඒ කේන්තිය ගම්මන්පිලගේ පිටින් පමණක් යවා හරියන්නේ නැත. සජිත්ලා දැන් කරන්න හදන්නේ ඒක ය. බැසිල්ගේ නාට්‍යයට හසු වීම ය. එනම්, ගම්මන්පිල ඇමතිකමෙන් අයින් කරවන්න විශ්වාසභංගයක් ගෙන ඒම ය. තෙල් මිල වැඩි කළේ ගෝඨාභය, මහින්ද, නාමල් ඇතුළු ආණ්ඩුව ය. ආණ්ඩුවට එරෙහිව එන සැබෑ ජනතා විරෝධය කොහෙවත් ඉන්න පෙත්තප්පු කෙනකුගේ පිටින් යවන්නට ය. ඒ කියන්නේ, සජිත්ගේ මෝඩ මොළය බැසිල්ගේ උපක්‍රමයට හසු වී ඇති බව ය. බොහෝ වේලාවට විශ්වාසභංගයත් බැසිල්ගේ ම පණිවුඩයක් වෙන්නත් පුළුවන් ය. අන්තිමට ඡන්දය වෙලාවේ දී කට්ටිය එකතු වෙලා ගම්මන්පිලව බේරා ගන්නේ ය. එතකොට කියන්නේ, “ඇතුළේ ප්‍රශ්නයක් තියෙන බව ඇත්ත ය. ඒත්, ඒක ඇතුළේ බේරා ගන්නවා මිස එළියේ ඉන්න විපක්ෂයට වාසි ගන්න දෙන්නේ නැහැ” කියලා සාගර කාරියවසම් පවා ගම්මන්පිල බේරා ගන්න ඡන්දය දෙන එක ය. මේ වෙලාවේ ඇත්තට ම විශ්වාසය මුළුමනින් ම භංග වී ඇත්තේ, සමස්ත ආණ්ඩුවේ ම ය. විරෝධය සැබෑ ලෙස ම එල්ල විය යුත්තේ, එතැනට ය එහෙම නැතිව අහක ඉන්න බොරු කයිවාරුකාරයන්ට නොවේ ය. ඒවා නිකම් ම නිකම් දුෂ්චරිත ය. පහර දිය යුත්තේ සැබෑ අධ්‍යක්ෂවරයාට ය●

ජගදාක්‍ෂි

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here